උසස් පෙළ සදහා කලා විෂය ධාරාවට අදාලව විෂයයන් තෝරා ගන්නේ කොහොමද
සාමාන්ය පෙළ විභාගයට පෙනී සිටි බොහෝ දෙනාගේ අපේක්ෂාව වන්නේ උසස් පෙළ පන්තියට ඇතුළත් වීමයි. ඒ සඳහා සාමාන්ය පෙළ විභාගයේ ප්රතිඵල ලැබිය යුතුය. එසේ වුවත් දැනට ශ්රී ලංකාවේ පවත්නා අධ්යාපන රාමුව තුළ සිසුන් මේ වන විට උසස් පෙළ විෂයයන් තෝරා ගැනීමට යොමු කරමින් සිටී. තමන් කුමන විෂයයන් තෝරා ගන්නේ ද යන්න නිගමනය කළ යුත්තේ ඒ සඳහා වූ විධිමත් තොරතුරැ පදනම් කර ගෙනය.
ඒ සඳහා යොදා ගත හැක්කේ අධ්යාපන අමාත්යාංශය විසින් 2016.04.26 දිනැතිව නිකුත් කර ඇති 2016/13 දරණ අ.පො.ස.(උසස් පෙළ) විෂය සංයෝජන හා විශ්වවිද්යාල ප්රවේශය සඳහා වූ විෂය සංයෝජන නම් වූ චක්ර ලේඛනයට අනුවය.
උසස් පෙළ පන්තියට ඇතුලු වීමට හා විශ්වවිද්යාල අධ්යාපනය ලැබීමට අපේක්ෂා කරන සිසු සිසුවියන් මෙම චක්ර ලේඛයේ දක්වා ඇති උපදෙස් හා මග පෙන්වීම් පිළිබඳව දැන ගෙන තම විෂයයන් තෝරා ගැනීම කළ යුතුය.
උසස් පෙළ පන්ති සඳහා සිසුන් ඇතුළත් වන්නේ මේ දිනවල ය. උසස් පෙළ විෂයධාරා සංඛ්යාව ද මේ වන විට හය දක්වා වැඩි වී තිබේ.
01. කලා,
02. වාණිජ,
03. විද්යා,
04. ගණිත,
05. තාක්ෂණවේදය
06. පොදු
උසස් පෙළට පොදු විෂය ධාරාවක් ද වෙයි. පොදු විෂය ධාරාවට අයත් වන්නේ ප්රධාන විෂය ධාරා පහට අයත් නොවන අයදුම්කරුවන් ය.
පොදු විෂය ධාරාව නිර්මාණය වන්නේ ප්රධාන විෂයධාරා පහේ විෂයයන් නොගැලපෙන ලෙස තෝරා ගන්නා ලද සිසුන් ය. එලෙස විවිධාකාරයෙන් විෂයයන් තෝරාගන්නා බොහෝ සිසුහු තමන් කලා විෂය ධාරාවට අයත් යෑයි සිතති. එහෙත් තමන් පොදු විෂය ධාරාව යටතේ විභාගයට පෙනී සිට ඇති බව සිසුන් දැන ගන්නේ ප්රතිඵල නිකුත් වූ පසු ය. ඇතැම් විට ඒ ඒ පාසල්වල පවතින පහසුකම් හා ඒ ඒ විෂයයන්ට සිටින ගුරුවරුන් අනුව විෂයයන් තෝරා ගැනීම සඳහා අනියම් බලකිරීමකට ලක් වීමට සිසුන්ට එම අසාධාරණය සිදු විය හැකිය. එසේත් නැත්නම් ගුරුවරුන්ගේ අනවබෝධය නිසා සිසුන්ට එසේ විය හැකිය.අනවබෝධයෙන් විෂයයන් තෝරා ගැනීම නිසා සිසුන්ට අපහසුතාවට පමණක් නොව අසාධාරණයට ලක් වීමට ද සිදු වෙයි. අසාධාරණය සිදුවන්නේ විශ්වවිද්යාලයට ඇතුළත් වීමේ දී ය.
පොදු විෂය ධාරාව හදාරා විශ්වවිද්යාලයට ඇතුළත් වන සිසුන්ට සාපේක්ෂව කලා විෂය ධාරාව හදාරා විශ්වවිද්යාලයට ඇතුළත් වන සිසුන්ට තෝරා ගැනීමට ඇති පාඨමාලා සංඛ්යාව වැඩි ය.
එහෙයින් ඒ ඒ විෂයධාරා සඳහා තෝරා ගැනීමේ දී සිසුන් දැඩි ලෙස සැලකිලිමත් වීම අවශ්ය ය. මෙම ලිපිය පළ කෙරෙන්නේ උසස් පෙළ සිසුන් රැසකගේ ඉල්ලීමකට අනුව ය.
කලා විෂය ධාරාව සඳහා විෂය කාණ්ඩ
(අ) සමාජයීය විද්යා, ව්යවහාරික සමාජ අධ්යයන විෂයයන්
(කලා විෂයධාරාව කරන දරුවෙක් අනිවාර්යයෙන්ම මෙම විෂය කාණ්ඩය එක් විෂයක් අවම වශයෙන් තෝරා ගත යුතුය. අවශ්යයනම් විෂයන් දෙකක් හෝ තුනම මෙම විෂය කාණ්ඩය යටතේ තෝරාගත හැකිය. භාෂා විෂයන් තුනම හදාරන දරුවන්ට මෙම කාණ්ඩයේ විෂයන් තෝරා ගැනීම අවශ්ය නොවේ. )
1. සන්නිවේදනය හා මාධ්ය අධ්යයනය
2. දේශපාලන විද්යාව
3. ඉතිහාසය (ලංකා ඉතිහාසය සමග ඉන්දීය/යුරෝපා හෝ ලෝක ඉතිහාසය)
4. ගෘහ ආර්ථික විද්යාව
5. භූගෝල විද්යාව
6. තර්ක ශාස්ත්රය හා විද්යාත්මක ක්රමය
7. ගිණුම්කරණය හෝ ව්යාපාර සංඛ්යානය
8. කෘෂි විද්යාව හෝ ගණිතය
9. ආර්ථික විද්යාව
10. තාක්ෂණවේදය විෂයයන්ගෙන් එක් විෂයයක් (සිවිල් තාක්ෂණවේදය හෝ යාන්ත්රික තාක්ෂණවේදය හෝ
විදුලි ඉලෙක්ට්රොනික සහ තොරතුරු තාක්ෂණවේදය හෝ ආහාර තාක්ෂණවේදය හෝ කෘෂි
තාක්ෂණවේදය හෝ ජෛව සම්පත් තාක්ෂණවේදය)
11. තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
(ආ) ආගම් හා ශිෂ්ටාචාර විෂයයන්
(සිසුන් ගේ කැමැත්ත අනුව සමාජ විද්යා විෂයක් තෝරා ගැනීමෙන් අනතුරුව මෙම විෂය කාණ්ඩයෙන් ආගම් විෂයන් දෙකක් තෝරා ගත හැකිය. එහිදී නිදසුනක් ලෙස බුද්ධ ධර්මය තෝරාගත් කෙනෙකුට බෞද්ධ ශිෂ්ටාචාරය තෝරා ගත නොහැක)
1. බුද්ධ ධර්මය හෝ බෞද්ධ ශිෂ්ටාචාරය
2. ක්රිස්තියානි ධර්මය හෝ ක්රිස්තියානි ශිෂ්ටාචාරය
3. හින්දු ධර්මය හෝ හින්දු ශිෂ්ටාචාරය
4. ඉස්ලාම් හෝ ඉස්ලාම් ශිෂ්ටාචාරය
5. ග්රීක හා රෝම ශිෂ්ටාචාරය
(ඇ) සෞන්දර්ය අධ්යයන විෂයයන්
(මෙම කාණ්ඩයෙන් දරුවෙකුට අවශ්ය නම් විෂයන් දෙකක් තෝරා ගත හැකිය. අනෙක් විෂය සමාජ විද්යා විෂය කාණ්ඩයෙන් විය යුතුය. සෞන්දර්ය අධ්යනය විෂය කාණ්ඩයෙන් විෂයක් තෝරා ගැනීමේදී එම දරුවන්ට නීති පීඨයට ඇතුළත් වීමට වරම් නැත)
1. නර්තනය (දේශීය හෝ භරත නාට්ය)
2. චිත්ර කලාව
3. නාට්ය හා රංග කලාව (සිංහල හෝ දෙමළ හෝ ඉංග්රීසි)
4. සංගීතය (පෙරදිග සංගීතය හෝ කර්ණාටක සංගීතය හෝ බටහිර සංගීතය)
(ඈ) භාෂා විෂය කාණ්ඩයේ විෂයන්
(මෙම කාණ්ඩයෙන් විෂයන් තෝරා ගැනීමේදී යම් සිසුවෙකුට සම්භාව්ය භාෂා තුනක් හෝ විදේශීය භාෂා තුනක් කළ නොහැක. අවශ්ය නම් ජාතික භාෂා තුනම කළ හැක. එවිට සමාජ විද්යා විෂයක් අනිවාර්ය නොවේ. විදේශීය භාෂා දෙකක් කරන්නේ නම් සමාජ විද්යා විෂයක් අනිවාර්යයෙන් කළ යුතුය)
1. ජාතික භාෂා
# සිංහල
# දෙමළ
# ඉංග්රීසි
2. සම්භාව්ය භාෂා
# අරාබි
# පාලි
# සංස්කෘත
3. විදේශීය භාෂා
# චීන
# මැලේ
# ප්රංශ
# ජර්මන
# රුසියන්
# හින්දි
# ජපන්
1,314
People reached
95
Engagements

Comments
Post a Comment